Tuesday, September 27, 2011

රටේ ආර්ථිකය හා පිස්සු මල්ලිගේ දුප්පත් පොකැට්ටුව.

රටේ ආර්ථිකය හා පිස්සු මල්ලිගේ දුප්පත් පොකැට්ටුව.
         රක්ෂාවක් සොයා ගන්න කියල දේශපාලනය කල මා පෞද්ගලික රැකියාවක් සොයා ගන්න කියලා 2011.09.12 දින හම්බන්තොට ඉඳලා කොළඹට යන්න පිටත් උනා. මම උදේ 3 විතර හම්බන්තොටින් පිටත් වෙන බස් එකකට තමයි ගොඩවුනේ. මම ඉතින් ඉක්මනටම ළඟ තිබුණු සීට් එකක වාඩි උනා. මගේ ලඟට ආපු කොන්දොස්තර අයියා මට දෙලොව රත්වෙන ටිකට් එකක් දුන්නා. මම ටිකක් විස්තර අහනකොට එයා කීවා මේක අර්ධ සුපෝකබෝගී බස් එකක් කියලා. මා ගාව ඒ තරම් මුදලක් ගෙවලා එකේ යන්න තරම් දුප්පත් මට හැකියාව තිබුනේ නෑ. ඉතින් මම කිලෝමීටරයක් විතර එහායින් බැහැගත්තා. මගේ හොඳට ඇස් පෙනෙන කෙනෙක් උනත් ඒ බස් එකේ කිසිම තැනක අර්ධ සුපෝකබෝගී කියලා ගහලා තිබුනේ නෑ. මොකද බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්වලා තියෙනකොට මම එක වටේ කැරකි කැරකි බැලුවා. ඒක නිසායි මම එකට නැග්ගේ. මම බැහැපු තැන අයියලා දෙන්නෙක් හිටියා. මම ඒගොල්ලන්ට මට උන දේ කීවා. එතකොට ඒගොල්ලෝ කීවා ගොඩාක් අර්ධ සුපෝකබෝගී බස් වල බෝඩ් නැතුව තමයි දුවන්නේ කියලා. බස් එකට නැගලා ටිකට් ඒක දෙනකොට තමයි නැග්ගේ සාමාන්‍ය සේවා බස් එකකටද නැත්නම් අර්ධ සුපෝකබෝගී බස් එකකටද කියලා තේරෙන්නේ. ඔහොම තමයි බස් මුදලාලිලා අහිංසක මිනිස්සු මරන් කන්නේ කියලා. මට ඒ වෙලාවේ මං ගැන දුකකුත් ආවා. මටත් ජොබ් එකක් තිබුනා නම් මට ඒ බස් එකෙන් කොළඹට යන්න තිබුනා කියලා. ඉතින් මම ගොඩාක් වෙලා සාමාන්‍ය සේවා බස් එකක එනතුරු බලාගෙන හිටියා. උදේ 6 ටත් කිට්ටු උනාට පස්සේ තමයි බස් එකක් ආවේ. බලනකොට එකත් දුප්පත් මාව මරාගෙන කන සංගමයේ බස් එකක් කියලා තේරුනේ ටිකට් ඒක අතට දුන්නට පස්සේ. මගේ අතේ සන්තකයටම තුබුණු රු 1000 කොන්දොස්තරට දුන්නාට පස්සේ ඔහු මට ඉතුරු සල්ලි විදියට රු 650 ක් දුන්නා. ඒ කියන්නේ ටිකට් එකට රු 350 ක් උනා කියන ඒක. මම ඉතින් ඒක ගුලි කරගෙන සාක්කුවට දාගත්තා. බස් ඒක අම්බලන්ගොඩ හරියේ කඩේක නැවැත්තුව තේ බොන්න කියලා. රැට කෑවෙත් නැති මට ලොකු බඩගින්නකුයි පිපාසයකුයි තිබුන නිසා බනිස් ගෙඩියකුයි ප්ලේන්ටියකුයි ගත්තා එකේ මිල රු 50 යි. කොහොම ගණන් හැදුවද මන්දා. හැම තැනම මම වගේ දුප්පත් අහිංසකයෝ මරාගෙන කන තැන්. බඩගින්නට කෑවට බිල දුන්නම තමයි මම කලේ වැරැද්දක් කියලා තේරුනේ. දුප්පත් මට කඩවලින් කෑම ගැනීම හොඳ නැති දෙයක් කියලා මම හිතා ගත්තා. මට පුදුමයි සල්ලි තියෙන අය නම් කිසිම ගානක් නැතුව ලොකු ගණන් දීලා ගන්න පැණි බීම වර්ගත් බිවුවා. වෙලාව දවල් 12.30 ට විතර කොළඹට අවා. මම බස් එකෙන් බැස්ස ගමන්ම දිවුවේ ටොයිලට් එකට. එකේ ඉඳලා එනකොට රු 10 ක් දෙන්න උනා. බඩගින්න තිබුනත් කරන්න දෙයක් නෑ මොකද අතේ තියෙන්නේ රු 590 යි.
                මම අවේ රැකියාවක් හොයා ගන්න නිසා මම මගේ අතේ තිබුන ලිපිනය සොයාගෙන ජා ඇල ට යන බස් එකකට ගොඩ උනා. සම්මුඛ පරීක්ෂණය තිබුනේ ජා ඇල. එකට ආපු හැමෝම ලස්සනට ඇඳගෙන ඇවිල්ල තිබුන නිසා මට පොඩි දුකකුත් අවා. මොකද මම අන්දන්ගිය ඇඳුම එතරම් අලුත් එකක් නොවුන නිසා. කොහොම උනත් මම පරීක්ෂණය සමත් උනා. ඉතින් මට ඒ මහත්තයා කිවුව හෙට ඉඳලා උනත් වැඩට එන්න පුළුවන් කියලා. පඩිය ලැබෙන්නේ මාසේ අන්තිමට නිසා මට කොළඹ නවතින්න තැනක් ගන්න බැරිබව මට තේරුනා. මට නොකා නොබී මාසයක් ඉන්න බැනේ කියලා මට දැනුනා. ඉතින් මට මම වෙනුවෙන් කල හැකි දෙයක් තිබුනේ නෑ.  ඉතින් මම ආපහු කොටුවට ඇවිල්ල ටොයිලට් එකට නැවතත් මට යන්න සිද්ද උනා. තවත් රු 10 ක් දෙන්න උනා. මුත්‍රා අමාරුව හැදුන කෙනෙක් දවසට 5 වතාවක් ගියොත් රු 50 ක් ටොයිලට් වලටම වෙන් කරන්න වෙලා. ඔය පාර දුර ගමනක් යනකොට බස් ගාස්තුවයි, කෑම ගාස්තුවයි, හිඟන්නන් සඳහා මුදලකුයි, ටොයිලට් වල වෙනම මුදලකුයි ගෙන්න වෙලා තියනවා. මම වගේ කෙනෙක් මේවගේ වියදමක් කොහොමනම් දරා ගන්නද? දෙවියනේ..  මගේ අතේ ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුනේ රු 500 ක් විතරයි. වෙලාව 3.45 ට කිට්ටුයි. පිපාසයට වතුර බිබී හිටියත් බඩගින්න දරාගන්න බැරිම තැන කඩේකට ගිහිල්ල බනිස් ගෙඩියකුයි ප්ලේන්ටියකුයි ගත්තා. හැබැයි එතනදී නම් ගත්තේ රු 35 යි. මට පුදුමයි එකම දේට තැන් දෙකක මිල වල් දෙකයි. මේක ඉතින් ලංකාවනේ.. දැන් මට පෞද්ගලික රැකියාවක් වත් කරන්න තියෙන අවස්ථාව ටිකෙන් ටික මග හැරෙමින් තමයි තියෙන්නේ. මොකද දැන් මට වයස අවුරුදු 33 ක් විතර වෙනවනේ. දේශපාලනය කරලා රැකියාවක් සොයාගන්න ගිය මට දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද? මේ ලිපිය කියවන ඔබට කියන්න කැමතියි මේ ලෝකේ දෙවිවරු නෑ කියලා. අපි කොයි තරම් දෙවිවරුන්ට අපේ දුක කිවුවත් අහන්න කියලා කිසිම කෙනෙක් නෑ. අනේ මන්දා මේක මටම විතරද කියලා. ඔබට මා වෙනුවෙන් යම් දෙයක් කල හැකිනම් මාව සම්බන්ද කර ගන්න.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money